🇱🇰 English | සිංහල | தமிழ் — Call Us: +(94)112655653 / +(94)777655396 - E-mail

සිත අධ්‍යාත්මික සුවය

බන්ධනාගාර රැඳවියන්

විශ්ව නිකේතනය විසින් මෙහෙයවනු ලබන මෙම සුවිශේෂී වැඩසටහන සැබැවින්ම විශේෂ ය. එයට සාම නිවහන සඳහා වූ ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන් ගේ දැක්ම වන “ආධ්‍යාත්මික අවදිවීම” මෙම වැඩසටහන තුළින් වඩාත් උසස් තත්ත්වයකට නංවාලයි.

සියලු ගුණ සහ දුර්ගුණ, යහපත්කම් සහ නපුර සඳහා මනස වගකිව යුතුය. හිමිදිරි පාන්දර සුදු ඇඳුමින් සැරසුණු මිනිසුන් කණ්ඩායමක් විශ්ව නිකේතන් පරිශ්‍රය තුළට ගමන් කළහ. ඔවුන්ගේ ඇඳුම් වල යම් යම් අංකයන් සටහන් වී තිබුණු අතර, පසුතැවීම, බිය, ව්‍යාකූලත්වය, වෛරය සහ ශෝකය යන හැඟීම් ඉතා පැහැදිලිව ඔවුන්ගේ මුහුණු වලින් ප්‍රකාශිත වී තිබීම කෙනෙකුට දැක ගත හැකි විය. මොහොතක ‘දුෂ්ට වූ මනසක්’ නිසා මේ මිනිසුන් සෙසු මනුෂ්‍යයකුගේ ජීවිතය අහිමි කිරීමට, කාන්තාවකගේ ගරුත්වය අහිංසකත්වය සොරකම් කිරීමට, භයානක මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමට හෝ අන් අයගේ දේපළ කොල්ලකෑමට යොමු වී ඇත. මේ අනුව, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වරදකරුවන් වූ වැලිකඩ බන්ධනාගාරයේ සිටින මෙම රැඳවියන් සියල්ලෝම තමන්ව පරිවර්තනය කර ගැනීමේ ගමනක යෙදී සිටිති. සමාව ලබන්නට, පිළිගැනීම ලබන්නට සහ නිමක් නැති සෘනාත්මක හැඟීම් වලින් පිරුණු තමන්ගේම මනසින් මිදෙන්නට ඔවුහු ආශාවෙන් බලා සිටිති.

විශ්ව නිකේතන් මෙම පුද්ගලයින්ට ඔවුන්ගේ අභ්‍යන්තරය ගවේෂණය කිරීමට සහ භාවනා සැසි හරහා ඔවුන්ගේම පරිවර්තනයක වගකීම භාර ගැනීමට අද්විතීය අවස්ථාවක් ලබා දෙයි. මෙම අභ්‍යසයෙන් දින තුනකට පසු ඔවුන් විශ්ව නිකේතනයෙන් පිටතට පැමිණ නැවත තම සිර මැදිරිය වෙත යන විට, ඔවුන්ගේ දෑස් බලාපොරොත්තුවෙන් හා පොරොන්දුවෙන් ද දැහැමිව ඉදිරියට යාමේ අධිෂ්ඨානයෙන් ද බැබලූහ.

සිරකරුවන්ගේ සහභාගිත්වය ඉහළ නැංවීම සඳහා වැඩසටහන පැවැත්වෙන ස්ථානය දැන් විශ්ව නිකේතනයේ සිට රට පුරා පිහිටි බන්ධනාගාර පරිශ්‍රය වෙත විහිදී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් සාමාන්‍යයෙන් ඔල්වරසන් දෙන ස්ථානයක් ලෙස නොසලකන බන්ධනාගාරය, ආරාමයකට සමාන ස්ථානයක් බවට පත් කිරීමට නිරන්තරයෙන් උත්සාහ දරමින් තිබේ. මෙම භාවනා වැඩසටහන් බොහෝ මට්ටම්වල රැඳවියන්ගේ ජීවිතවලට ධනාත්මක ලෙස බලපා ඇත. මානසික අවපීඩනයෙන් හා නින්දට යාමට නොහැකි ලෙස පීඩාවට පත් වූ අය පාපොච්චාරණය කර ඇත්තේ තමන් ශාරීරිකව මෙන්ම මානසිකවද වඩා ස්ථාවර වූ බවයි. සමේ රෝග සහ නිරන්තර හිසරදය ඉවත් කිරීමට තමන්ට හැකි වූ බව සමහරු පිළිගෙන ඇත. ඒ වගේම පුද්ගලික හෝ පරිසරයේ පිරිසිදුකමට ගරු නොකරන අය පුද්ගලික සනීපාරක්ෂාව මෙන් ම වගේම වටපිටාව පිරිසුදුව තබා ගැනීම ගැනත් අවධානය යොමු කරන්න පටන් ගත්හ.

වැදගත්ම දෙය නම් රැඳවියන් කිසි දිනෙක පුනරුත්ථාපනය කළ නොහැකි නමුත් දඬුවම් පමණක් කළ හැකි බවට බන්ධනාගාර නිලධාරීන්ගේ සාමාන්‍යයෙන් පවතින ආකල්පය වෙනස් කිරීමට මෙම වැඩසටහන උපකාරී වීමය. පරිපාලනය ද පහසු කරවන පරිදි රැඳවියන් දයාව, ආදරය සහ රැකවරණය ලැබිය යුතු පුද්ගලයන් ලෙස සැලකීමේ අවශ්‍යතාව පිළිබඳ වැඩසටහන තුළින් තමන් ලද අවබෝධය පිළිබඳව නිලධාරීන් කෘතඥතාව පළ කළහ.

නිතිපතා භාවනා කරන්නන් වන සිරකරුවන් දැඩි ලෙස වෙනස් වී ඇති අතර ඔවුන්ගෙන් සමහරෙක් ඔවුන්ගේ ක්‍රියාවන්ට සමාව දෙන ලෙස ඉල්ලා තම සතුරන්ට පවා ලියා ඇත. භාවනාවේ සන්සුන් අත්දැකීමෙන් හා සමබර මනසක් ඇති කර ගනිමින්, තමන්ව සිරගත කිරීමට වගකිවයුත්තන් කෙරෙහි වෛරය සහ ආක්‍රමණය පෝෂණය කළ ඔවුන් සිය අතීතය දෙස උපේක්ෂාවෙන් බලා අධ්‍යාත්මිකව ශක්තිමත් වූ මනසකින් අනාගතය පිළිගනිති.

විශ්ව නිකේතනයේ අපූරු භාවනා වැඩසටහනක සතුට අත්විඳි රැඳවියන්ගේ සිතුවිලි කිහිපයක් පහත දැක්වේ:

“මම මිනීමැරුමක් කළා. මගේ මනස නිශ්චල නොවීය. පසුතැවිල්ල සහ පිළිකුල මගේ මනස පුරවා ගත්තේය. භාවනා ක්‍රමයක් ගැන මට අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් විශ්ව නිකේතනයේ භාවනා කර දින තුනක් ඇතුළත ජීවිතය යනු කුමක්දැයි මට වැටහුණි. මම බන්ධනාගාරය තුළ භාවනාව පුරුදු කර නිදහස් වූ පසු ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමේ අධිෂ්ඨානයෙන් සමාජය තුළට ගමන් කරමි. ”


“විශ්ව නිකේතනයට ඇතුළු වන විට මම ස්වභාවධර්මය හා ඒකාත්මික වීමි. අවට පරිසරය හිරු එළිය, ගහකොළ භාවනාවට පෙර මනස පිරිසිදු කරන්නක් විය. ඇත්ත වශයෙන්ම වායුගෝලය මට පාඩමක් උගන්වන බව මට හැඟුණි. භාවනා පුහුණුව තුළින් මා ලද ප්‍රීතිය වචනයෙන් කිව නොහැකිය. මින් ඉදිරියට කිසිම අපරාධයක් නොකරන බවට මම දිවුරුම් දෙනවා.”
“විශ්ව නිකේතනයේදී මම සිදු කළ භාවනා වැඩසටහන් වැනි පෞරුෂය සැකසීමේ යාන්ත්‍රණයක් මගේ ගමේ නොතිබූ නිසා මම දැන් සිරගතව සිටිමි. මම නැවත මගේ ගමට ආ පසු භාවනාව පුරුදු කර නැවත සිරගෙදරට නොපැමිණීමට වග බලා ගන්නෙමි. ”
“සිරගෙවල් තුළ දීම නිදහස් වීමට මම ඉගෙන ගත්තා.”
“මෙම ස්ථානයට ඇතුළු වීමට පෙර මම දැඩි මානසික වේදනාවකින් සිටියෙමි. මට දැන් මගේ මනස පාලනය කළ හැක්කේ කෙසේදැයි මට විශ්වාස කළ නොහැකිය. මට මෙම අත්දැකීම ලැබීමට නම් මම සැබවින්ම වාසනාවන්ත විය යුතුයි. මාව නිදහස් කරන විට සමහර පුද්ගලයින්ගෙන් පළිගැනීමට මම සැලසුම් කරමින් සිටියෙමි. නමුත් එම සිතුවිලි දැන් පහව ගොස් ඇත. මම සිරගෙදරදී සහ නිදහස් වූ පසුත් භාවනාව දිගටම කරගෙන යන්නෙමි. මගේ අත්දැකීම් තුළින් අන් අයට ඉගැන්වීමට සහ සියලු නපුරෙන් වැළකී සිටීමට ඔවුන්ට උපකාර කිරීමට මම මගේ උපරිමය කරමි.”
“මම මගේ සෙසු රැඳවියන්ට භාවනාව තුළින් ඔවුන්ගේ මනස සැහැල්ලු කර සතුටින් ගත කරන්නේ කෙසේදැයි කියා දීමට යන්නෙමි.”

ළමා අපයෝජනයට ගොදුරු වූවන්

සර්වෝදය සුවසෙත නිවහනේ නව යොවුන් මව්වරුන් සඳහා වූ මෙම වැඩසටහන ලිංගික අපයෝජනයන්ට ගොදුරු වූ වයස අවුරුදු 11-18 අතර යොවුන් මව්වරුන් සඳහා නිර්මාණය වූ වැඩසටහනකි. සර්වෝදය සුවසෙත සේවා සමිතිය මගින් පවත්වාගෙන යනු ලබන නේවාසික සත්කාරක පහසුකම්වල ජීවත්වන දරුවන් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව හෝ අධිකරණය හරහා යොමු කෙරේ. ඔවුන් බොහෝ විට නොසලකා හැරීම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ ශාරීරික මානසික සහ ලිංගික අපයෝජනය වැනි ව්‍යසනයන් එකකට හෝ එකතුවකට ගොදුරු වූවෝ වෙති. විශේෂයෙන් මනෝවිද්‍යාත්මක හා චිත්තවේගාත්මක වර්ධනයට හානිකර පවුල් හා ප්‍රජා පසුබිම් තුළ ළමා සංවර්ධනයේ තීරණාත්මක අවධීන් ගත කර ඇති මෙම දරුවන්ට ආයතනික සත්කාර සඳහා යොමු වන අවස්ථාව වන විට වෘත්තීයමය මනෝ විද්‍යාත්මක හා මනෝ සමාජයීය සහයෝගය අවශ්‍යම වේ.

දැඩි පීඩා, මානසික අවපීඩනය, බලාපොරොත්තු සුන්වීම, හුදෙකලා වීම, කෝපය, ස්වයං හානි හෝ සියදිවි නසා ගැනීමේ සිතුවිලි ඔවුන් එදිනෙදා කටයුතු හා අධ්‍යාපනයට සහභාගී වීමට බාධාවන් වන අතර බොහෝ විට චර්යා ගැටලු වලටද මේවා හේතු වේ. ඔවුන් තමන්ගේ හැඟීම් සමඟ සාර්ථකව කටයුතු කිරීමට මෙන්ම සම වයසේ මිතුරන් හා රැකබලා ගන්නන් සමඟ කටයුතු කිරීමට ද වෙහෙසෙති. ඒ නිසා තමන් විඳි කම්පනවලින් සුවය ලබන්නටත්, ඉන් ගොඩ එන්නටත්, ළමා වියේ සිට වැඩිහිටිභාවය දක්වා උගුල් සහ අවිනිශ්චිතතාවලින් පිරුණු අභියෝගාත්මක ගමනක් යාමටත් ඔවුන්ට අත්වැලක් අවශ්‍ය වේ.

චිත්ත ආධ්‍යාත්මික සුවතා වැඩසටහන් සැලසුම් කර ඇත්තේ දරුවන්ට කල්පවතින සුවයක් ලබා දීම සඳහාය. මෙම සුවපත් කිරීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා මූලික ක්‍රමවේද ලෙස කලා චිකිත්සාව, භාවනාව, සතිය සහ මෙත්තා කේන්ද්‍රීය ක්‍රියාකාරකම් භාවිතා වේ. චිත්‍ර කලාව සහ නිර්මාණශීලිත්වය අභ්‍යන්තර හැඟීම්, ආතතීන් සහ උභතෝකෝටික ගැටළු ප්‍රකාශ කිරීමේ මාධ්‍ය ලෙස භාවිත කෙරේ. ස්වයං ප්‍රකාශනයට සම්බන්ධ සෑම ක්‍රියාකාරකමක් අවසානයේම, සමාන ආතති සහගත හෝ කරදරකාරී අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා භාවිත කළ හැකි භාවනා, සතිය පදනම් වූ, සොබාදහම පදනම් කරගත් සහ මෙත්තා මත පදනම් වූ සුවපත් කිරීමේ ක්‍රම පිළිබඳව ඔවුන් දැනුවත් කරනු ලැබේ. ඔවුන් ක්‍රමක්‍රමයෙන් ස්වයං ආදරය, ස්වයං කරුණාව, ස්වයං අගය සොයා ගැනීමටත් විශ්වාසය වර්ධනය කර ගැනීමටත් මිත්‍රත්වයන් ඇති කර ගැනීමටත් ඉගෙන ගනිති. ඔවුහු එක් එක් වැඩසටහන අවසානයේ විශේෂ පණිවිඩයක් ද ජීවිතය, ලෝකය සහ සබඳතා පිළිබඳ නව ඉදිරි දර්ශනයක් ද රැගෙන යති.

නීතිය සමඟ ගැටෙන දරුවන්

විශ්ව නිකේතනය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති තරුණ වැරදිකරුවන් සඳහා වූ පුහුණු පාසල්වල වසර 3ක් තිස්සේ නිවැරදි කිරීමේ සිරදඬුවම් විඳිමින් සිටින වයස අවුරුදු 16 ත් 21 ත් අතර ළමුන් සහ තරුණයින් සඳහා වැඩසටහන් පවත්වයි සංක්‍රමණික මව්වරුන් දරිද්‍රතාවය ආශ්‍රිත සමාජ ප්‍රශ්න හේතුවෙන් දරුවන්ගෙන් සහ තරුණයන්ගෙන් බහුතරයකට ආදරය, සැලකිල්ල සහ ආරක්ෂිත පවුල් පරිසරයක් අහිමි වී ඇත. ඔවුන් දැඩි ලෙස විශ්වාස කරන්නේ තම පවුලේ අයගේ සහ භාරකරුවන්ගේ ක්‍රියා හේතුවෙන් ඔවුන් වරදකරුවන් වූ බවත් අපරාධ කිරීමට ඔවුන්ට බල කළ බවත් ය. මෙම අහිතකර ආකල්පය තමන් සහ තම ආදරණීයන් කෙරෙහි වෛරයේ සහ ක්‍රෝධයේ බීජ රෝපණය කර ඇත. චිත්ත ආධ්‍යාත්මික සුවපත් කිරීමේ පිළිවෙත් දරුවන්ට සහ තරුණයින්ට ස්වයං වෛරය, කෝපය, දෝෂරෝපණය, වරදකාරිත්වය වැනි නිෂේධාත්මක හැඟීම් සහ ආවේගයන් වඩාත් දක්ෂ ලෙස කළමනාකරණය කර ගැනීමට අවකාශ සලසයි. එමෙන්ම ස්වයං ආදරය සහ ස්වයං කරුණාව වර්ධනය කිරීමටත් සහාය වී ඇත. මෙත්තා හැඟීම් සහ දයානුකම්පාව පැතිරීමෙන් ඔවුන්ගේ ආදරණීයයන් වෙත සමාව දීමේ හැකියාව ඉගෙන ගැනීමටත් මෙම සුවපත් කිරීමේ අභ්‍යාසයන් ආධාර වේ.
Back to Top